ඔන්න එකමත් එක රටක හිටිය කාන්තාවකට උපන්දින තෑග්ගක් හැටියට ඉතා වටිනා අලංකාර රෙදි කෑල්ලක් හම්බ උනාලු. ඉතිං මේ රෙදි කෑල්ලත් අරගෙන ඇඳුම් මහන සාප්පුවකට ගියපු මේ නෝනා ඇඳුම් මහන කෙනාට කිව්වලු මට මේ රෙදි කෑල්ලෙන් ගවුමක් මහල දෙන්න කියල. ටේලර් කිසිම කතාවක් නැතුව අවශ්‍ය කරන මිනුම් සියල්ල අරගෙන තව දවස් දෙකකින් ඇඳුම අරන් යන්න එන්න කියල කිව්වලු.
වැඩේ ඉවර කරල ආපසු ගෙදර එන්න මඟට ආව කාන්තාවට හිතුනලු “මේ රෙද්දෙන් ගවුම මැහුවට පස්සේ තවත් රෙදි ප්‍රමාණයක් ඉතිරි වෙනවා ඇති, ඒක අහුවෙයි කියල තමා ටේලර් කිසිම කතාවක් බහක් නැතුව වැඩේ බාර අරං හිටියේ“, කියල. වහාම ආපහු ඇඳුම් සාප්පුව වෙත ගියපු අර කාන්තාව ඇඟට පතට නොදැනී ටේලර් ගෙන් ඇහුවලු “මේ රෙද්දෙන් මට ගවුම් දෙකක් මහන්න බැරිද?“ කියල. ටේලර් කිසිම වෙනසක් නොපෙන්වා කිව්වලු “ඔව්. පුළුවන්“ කියලා. ඉතිං කාන්තාව වැඩේ බාරදීලා මඟට ආවම ආයෙත් හිතුනලු “ටේලර් ඒ ගමනත් කිසිම ගණනකට නොගෙන වැඩේ බාරගත්තේ අනිවාර්යයෙන්ම ගවුම් දෙකක් මහලත් මේකෙන් තවත් රෙදි ප්‍රමාණයක් ඉතිරි වෙනවා ඇති“ කියලා. ආපහු ගිහින් ඇහුවලු “මේ රෙද්දෙන් මට ගවුම් තුනක් මහන්න බැරිද?“ කියල. ඒ ගමනත් යන්තමට ඔළුව වනපු ටේලර් “ඔව්. පුළුවන්“ කියලා වැඩේ බාරගත්තලු.
ගෙදර එන්න මඟට බැහැපු අර කාන්තාවට නැවත යම් රෙදි ප්‍රමාණයක් ඉතිරි වෙනවා ඇති කියල හිතට ආවත් “මෙහෙමත්ඔ මිනිස්සු...! ඔන්න ඔහේ ඉතිරි වෙන රෙද්දක් තියා ගත්තාවේ, මට මගේ වැඩේ හරියට කරල දුන්නොත් ඒ ඇති“ කියල තමන්ටම කියාගෙන හිත හදාගෙන ගෙදර ගියාලු.
ගෑනිට තරු විසි උනේ දවස් දෙකකට පස්සේ මහන්න දීපු ගවුම් අරං යන්න ආවම. ගවුම් තුනක් මහල තිබුණ උනාට ඒවා අඳින්නේ කෝමෙයි? ටේලර් කිව්වේ “මම ගවුම් මහන්න පුළුවන් කිව්වට ඒවා අඳින්න පුළුවන් කියල කිව්වේ නෑනේ?“
-----------------------------------------------------------------------------------------------
දැන් එමු උද්‍යානකරණයට.........
තමන්ගේ ගෙදර හෝ ව්‍යාපාරික ආයතනයේ හෝ කාර්යාල පරිශ්‍රයේ උද්‍යාන අංලකරණ කටයුතු ගැන කතා කරගන්න අපි හම්බවෙන්න එන සේවා දායකයින් වැඩි දෙනෙක් වැඩි වේලාවක් නොයවා අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්ණයක් තියෙනවා.
“මේ වැඩේ කරන්න වියදම කීයක් විතර යයි ද?“
ඉතිං අපි ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව සැලසුම් කරපු උද්‍යානයේ ඒ ඒ අංගෝපාංග සඳහා යන වියදම ඉතා පැහැදිලිව, වෙන වෙනම ගණනය කරල අවසාන වියදම් ඇස්තමේන්තුව ඔවුන්ට කියනවා. මේ සඳහා පදනම් කරගන්නේ ඒ ඒ පළාත අනුව, ප්‍රදේශය අනුව හා ඒ ඒ අමුද්‍රව්‍ය සඳහා ඒ වෙනකොට පවතින “සම්මත“ මිළ ගණන් හා කම්කරු/වෘත්තීය/ප්‍රවාහන ආදී සේවා සඳහා ගණනය කර සකස්කළ සාධාරණ අයකිරීම් ආකෘතියක්.
ඒ උනත් සමහර සේවාදායකයින් මේ ඇස්තමේන්තුව දැක්ක ගමන් පෙන්වන්නේ මවිතයට පත්වෙච්ච හැසිරීමක්. ඒකට හේතුව ඔවුන් බලාපොරොත්තු වෙනවා අක්කර කාලක මඤ්ඤොක්කා හිටවන්න වැයවන මුදලින් වික්ටෝරියා පාර්ක් එක වගේ උද්‍යානයක් හදා ගන්න.
ඉතිං, ඒ වගේ වෙලාවට මම නම් කරන්නේ අර ටේලර් දුන්න උත්තරයට සමාන උත්තරයක් දෙන එක. උදාහරණයක් විදියට,
“මහත්තයෝ. ඔය ගාර්ඩන් එක නියමිත මූලධර්ම වලට අනුව ප්‍රමිතියටම අපි හදනවා නම් රුපියල් ලක්ෂ පහක් යනවා. ඒත් ඔබට පුළුවං ඕන නම් ඔය ගාඩ්න් එක රුපියල් පනස් දාහකට හදා ගන්නත්. හැබැයි මම දන්නේ නෑ ඒක “ගාඩ්න්“ එකක් වෙයිද නැද්ද කියලා. අනෙක ඒකට ඔබට අප හැර වෙන ආයතනයක් හොයා ගන්නත් වෙනවා“

Comments
Post a Comment