උද්‍යාන අලංකරණ මූලධර්ම වල මූල බීජ හටගන්නේ මෙම මානසික වපසරිය තුලය....!
සහජ පරිසරය හා බැඳුන නිසඟ මනෝභාවයත්, නූතන ජීවන රටාවේ කෘතීම දැවටීමත් අතර වූ
අසාමාන්‍ය ‘‘හිඩැස‘‘ ඔහුගේ චිත්ත සංතාපයට හේතු විය. මෙම රික්තය
පිරවීම උදෙසා ඔහු නිරායාසයෙන්ම පෙළඹෙන්නේ, තමනට අහිමි වී ගිය ස්වාභාවිකත්වය නැවත
අත්පත් කරගැනීම උදෙසා කෙරෙන යුද්ධ ප්‍රකාශයත් සමඟය.
එහි ප්‍රතිඵලය වන්නේ කෘතීම පරිසරය අතික්‍රමණය කරමින් ස්වාභාවික පරිසරයට
සමීප වීමේ උපාය උපක්‍රමික ක්‍රමවේද මානව පරම්පරා ඔස්සේ ක්‍රමිකව සංවර්ධනය
විමයි.....!
මුල් පරිසරයත් සමඟ පැවති පෙකණිවැල බිඳගත් මිනිසාගේ මුල්ම අභියෝගය වෙන්නෙ
එතෙක් ස්වාභාවික වටපිටාවෙන් පිරිමසාගත් ආහාර අවශ්‍යතාවයන්, කෘත්‍රීම පරිසරය තුලින් සන්තර්පණය
කරගැනීමට යාමේදී ඇතිවන පරස්පරතාවයයි. මෙම තත්ත්වය අතික්‍රමණය කිරීම සඳහා ඔහු තෝරණ
උපක්‍රමය වන්නේ තමනට හිතකර ශාක හා සතුන් එම ගෘහස්ථ පරිසරය වෙතට කැඳවා පාලිත තත්ත්ව
යටතේ ඒවායේ පැවැත්ම කළමනාකරණය කිරීමයි.
මෙම නව පරිසරය තුල තම මූලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේදී අවම වෙහෙසක්
දැරීමට සිදුවිම අතිශය වාසිදායක තත්වයකි. තවද සැපයුම ස්ථිර වන බැවින් කුසගින්න
නිවාගැනීම පිළිබඳව කලින් පැවති සැක සාංකාවක් නොමැති විය. මෙහිදී ඉතිරි කරගත් කාලය
මතින් මානව ප්‍රගමනයේ යෝධ පිමි සඳහා උපකාරී වූ මූලික පියවර සටහන් සළකුණු විය.
ශිෂ්ඨාචාරගත වීමෙන් හික්මවුන මිනිසා විසින් “ස්වාභාවිකත්වය කෘතීම පරිසරයට“
කැඳවීමේදී
මුලින්ම අවධානය යොමු කරන්නේ ඒ මඟින් තම මූලික අවශ්‍යතා සන්තර්පණය කර ගැනීමට දක්වන
දායකත්වය පිළිබඳව පමණයි. නමුත් කාලයත් සමඟ ඒ ගැන සහතිකවම විශ්වාසය තහවුරු වූ පසුව
ඔහුට ඕන වෙනවා මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ පරමාර්ථ වලින් ඔබ්බට ගිය නිර්මණාත්මක
වටපිටාවක් ගොඩනැගීමට කාලයක් වෙන් කරන්න.
අන්න ඒ මානසික රික්තය ඇතුලෙ තමයි කලාව,
සංස්කෘතිය,
ආගම, ආර්ථික දර්ශනය වගේ සංකල්ප ලෝකයට බිහිවෙන්න
පටන් ගන්නේ. ‘‘උද්‍යාන අලංකරණය‘‘ ද විවිධ වු සංකල්ප හා මූලධර්ම ගොඩනගා
ගනිමින් අද පවතින තත්ත්වයේ ඉතා පුළුල් වූ දැවැන්ත විෂය ක්ෂේත්‍රයක් බවට පත්වෙන්නෙ
ඔය කියපු දහසකුත් එකක් ශිල්ප කලා ශාස්ත්‍ර වලට සමගාමීව යමින්ම තමයි.
ඒ නිසා
ගහක්-වැලක්-මලක් හදා ගන්න ඇටයක්-පැලයක් පොළවේ ඉන්දන එකට එහා ගියපු තාක්ෂණික ක්‍රමවේදයක්
උද්‍යානකරණයේ දී තියෙනවා. ඒ සංකල්ප හා මූලධර්ම ගැන සරලව කතා කරන් තමයි මෙතැනින්
එහාට උත්සාහ කරන්නේ...!
මූලධර්ම ගැන කියන්න කලින්,
උද්‍යාන අලංකරණය කරන්නේ ඇයි?
මොනවද ඒකෙන් ලැබෙන වාසි??
කියල ටිකක් හොයල බලමු...!
“පාරිසරික අලංකාරය“ පදනම් කරගෙන උද්‍යාන අලංකරණය ගැන වෙහෙසුනත්, අලංකාරය
යනු උද්‍යානකරණයේ ඇති සිය ගණනක් වූ ප්‍රතිලාභයන් අතරින් එකක් ම පමණයි. නිසි විද්‍යාත්මක
පදනමක් මත පිහිටමින් උද්‍යාන විද්‍යා මූලධර්ම වලට එකඟව
නිර්මාණය කළ සැලසුම් සහගත උද්‍යානයක ගැවසීමෙන් ජීවිතයට ලැබෙන සෘජු හා වක්‍ර ප්‍රයෝජනයන්
ප්‍රමාණය අති මහත්ය. ඒවා අතරින් කීපයක් සංක්ෂිප්තව පහත දැක්වේ.
1.ගතට සිතට සැනසිලිදායක හා ආරක්ෂිත වටපිටාවක
ජීවත් වීමට ලැබීම.
කොන්ක්‍රීට් වනාන්තරකරණයෙන් ගත මත ඇති කරන ජීවන පීඩාවත්, නාගරික කෘතීම බව
මඟින් ඇතිකරන මානසික හෙම්බත් වීමත් හේතුවෙන් වර්තමානයේ දී නිදහස කැමති මිනිසා උද්‍යානකරණය
කෙරෙහි පෙරට වඩා වැඩි නැඹුරුවක් පෙන්වනවා. පරිසරයේ සුන්දරත්වය හා දැකුම්කළු බව
වැඩි වෙනකොට ස්වාභාවිකත්වයට ඇති නිසඟ කැමැත්ත ඉස්මතු වී ජීවිතේ ඉබේම සුවදායී
වෙනවා. එතකොට මනස සැහැල්ලු වෙනවා. නැවුම් සිතිවිළි පහළ වෙනවා. නිර්මාණාත්මක මනසක්
ඇති වෙනවා. මෙසේ ගත-සිත තෘප්තිමත් වීම හරහා ඉහල සෞඛ්‍ය
ප්‍රතිලාභයක් අත්වෙන එක ස්ථිරයි.
2.දේපල වලට ලැබෙන "එකතුකළ අගය/ (value
added) ".
නිවැරදි මූලධර්ම මත පිහිටා කරන ලද උද්‍යාන අලංකරණයක් මඟින් යම් දේපලක ‘පවතින
වටිනාකම‘ කීපගුණයකින්
වැඩි කරගන්න පුළුවන්. නිවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න, බාහිර ශබ්දයන්,
දුර්ගන්ධයන් වැනි දේ පාලනය කරගන්න මේ මඟින් විශාල දායකත්වයක් ලැබෙනවා. ඉඩකඩම් වල
පසුකාලීනව ඇති වීමට ඉඩ ඇති සීමා මායිම් ආරවුල් සඳහා ද හොඳ විසඳුමක් මේ මඟින්
ලැබෙනවා. ඒ කරුණු හේතුවෙන්ම එම දේපල සඳහා “එකතු කළ අගයයක්“ ලැබී ආර්ථිකව වාසිදායක
තත්ත්වයක් නිර්මාණය වෙනවා.
3.ගෙවත්තෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ.
තම ගෙවත්තේ ඇති ඉඩ ප්‍රමාණය අනුව මල් වර්ග,කෝමාරිකා, හාතාවාරිය, වදකහ වැනි ඖෂධ වර්ග
විතරක් නෙවෙයි එළවලු, පළතුරු, කුළුබඩු වර්ගත්, මුළුතැන්ගේ කටයුතු වලට අත්‍යාවශ්‍ය
රම්පෙ, කරපිංචා, ඉඟුරු, කහ වැනි දේ යම් ප්‍රමාණයකුත් උද්‍යානය තුලට එකතු කරගන්න
පුළුවන්. උද්‍යාන විද්‍යාවේ දී ඉඩමේ එක බිම් අඟලක්වත් අපතේ නොයවා රම්පෙ කරපිංචා
ගහක් හරි හිටවන්න දක්ෂ උද්‍යාන සැලසුම් ශිල්පියෙක් අනිවාර්යයෙන්ම වගබලා ගන්නවා. එ්
මඟින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ වලට එහා ගිය දිගුකාලීන සෞඛ්‍යමය වටිනාකමකුත්
තියෙනවා...
4.පාංශු ඛාදනය වැනි උවදුරු වලින් භූමියට
ලැබෙන ආරක්ෂාව.
උද්‍යාන සැලසුම්කරණයේ දී මූලිකවම අවධානය යොමු කරණ කාරණයක් තමයි මේ. දැනටමත්
භූමියට සිදුව ඇති හානි ඇත්නම් ඒවාට පිළියම් යෙදීමත්, ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති හානිදායක
තත්ත්වයන් අවම කිරීමට විද්‍යාත්මක පූර්වෝපායයන් යෙදීමත් නිසා භූමියේ ආරක්ෂාව
නිසැකවම තහවුරු වේ. උද්‍යානයේ එකතුවන වැඩිපුර වැසි ජලය නිවැරදි දිශානතියකට යොමු
කිරීමත්, පිටත ප්‍රදේශවල සිට තම උද්‍යානයට ඇතුළු වන වැසි ජලය මනාව කළමනාකරණය
කිරීමත් නිසි උද්‍යාන සැලසුමක ප්‍රධාන කාර්යයක් වෙනවා. මේ මඟින් උද්‍යානයේ ජල
සංරක්ෂණයට ද මහඟු දායකත්වයක් සැලසෙනවා.
5.පවුලේ සාමාජිකයින් අතර ඇතිවන මනා
සම්බන්ධතාවය.
හොඳින් සැලසුම් කළ උද්‍යානයක් එම ගුණාත්මයෙන්ම දිගටම පවත්වාගෙන යාමට නම්, කාලීනව එහි නඩත්තු කටයුතු කරගෙන යා
යුතුමයි. එහිදී පවුලේ අයගේ නිවාඩු පාඩු වෙලාවල් ඒ සඳහා යොදා ගැනීමෙන් සාමූහික ක්‍රියාකාරමක්
බවට එය පත්කරගත හැකියි. එය අවිවේකී ජීවන රටාව තුල එකිනෙකා අතර හොඳ සම්බන්ධතාවයක්
ඇතිකරන්න උපකාර වෙනවා වගේම තමන්ගේ විවේක කාලය අර්ථාන්විතව ගතකරන්නට ද හොඳ කාරණයක්
වෙනවා. ඒ වගේම එය ගතට-සිතට දෙකටම හිතකර ව්‍යායාමයක් ද වීම නිසා සෞඛ්‍ය පැත්තෙන්
කෙරෙන ඉහල ආයෝජනයක් ද වෙනවා...
6.පරිසර සංරක්ෂණයට දායක වීම.
උද්‍යානය තුල සිටුවන ගස් කොළං මඟින් වාතය පිරිසිදුව තබාගැනීමට උදව් වෙනවා.
ඒ කියන්නේ ඔක්ෂිජන් - කාබන් ඩයොක්සයිඩ් වායුවල තුල්‍යතාවය ආරක්ෂා වෙනවා. උද්‍යානය
තුල “ක්ෂුද්‍ර පරිසර තත්ත්වයක්“ නිර්මාණය වීමෙන් ගතට සිතට පරිසරයට හිතකර තත්ත්වයක්
ඇතිවෙනවා. තවද උද්‍යාන නඩත්තුවේදී
නිරන්තරයෙන් පරිසරය පිරිසිදු කෙරෙන බැවින් භාහිර හා අභ්‍යන්තර කාරකයන් මඟින්
පරිසරය දූෂණය වීම අවම වෙනවා. ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය මඟින් ආර්ථික වාසියක් ද
ලැබෙනවා. ලෙඩ රෝග පතුරුවන බීජකාරකයින් හා වාහකයින් උද්‍යානයෙන් ඉවත්වීම හා විනාශ
වීම හේතුවෙන් මාරාන්තික වසංගත රෝග පාලනය වේ. උද්‍යාන අපද්‍රව්‍ය නිසි පරිදි
කළමනාකරණය කර කාබනික පොහොර බවට හැරවීමෙන් කෘතීම රසායනික පොහොර භාවිතය අවම කළ
හැකියි. එය පරිසරයට මෙන්ම පොකැට්ටුවට ද හිතකර කාරණයක් වනු ඇත.
තවද, කැලි කසල නිවැරදිව බැහැර කිරීමෙන් මැසි-මදුරු කරදර වලින් තොර, සත්තු-සර්යින්ගෙන් ඇති අවධානම බැහැර වූ
ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය වෙනවා.
7.ඉහල ජීවන තත්ත්වය.
සුඛෝපභෝගී පරිසරයක දිවි ගෙවීමට
ලැබීම මඟින් උදාවන ඉහල ජීවන මට්ටම හා එයින් ඇතිවන ආත්ම තෘප්තිය ඇතුළු තවත් ඔබ
නොහිතන අති විශාල ප්‍රතිලාභ රාශියක් උද්‍යාන අලංකරණය තුලින් ළඟා කරගත හැකියි......!
උද්‍යානකරණය හා බැඳුන මෙම අරමුණු වලින් ඉහළම ප්‍රමාණයක් සාක්සාත් කර ගැනීමට
නම්, අනිවාර්යයෙන්ම විද්‍යාත්මක උද්‍යාන කළමනාකරණ මූලධර්ම මත පදනම් වෙමින් තම උද්‍යානය
සැලසුම් කිරීම හා නඩත්තු කරගෙන යාම කළ යුතුයි. අද වන විට මෙම ක්ෂේත්‍රයට ඇති අධික
ඉල්ලුම හමුවේ “ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවට“ අත්වූ ශෝචනීය ඉරණම ම උද්‍යාන විද්‍යාවට ද
අත්වෙමින් පවතී. උද්‍යාන අලංකරණය යනු, ඇටයක් පැළයක් තණ පිඩැල්ලක් ඉන්දවීම පමණකැයි
සිතන, ශිල්පය යාන්තමට අතපත ගා ගත්තවුන් විසින් සේවාදායකයින් රවටමින් සිටී. ඒ නිසා එවන් මුලා කිරීම් වලින් වැළකීමට නම් අප
කළයුතුව ඇත්තේ වඩ වඩාත් උද්‍යාන විද්‍යාව
ගැන දැනුවත් වීම යි.
මේ ඒ සඳහා යහපත් සිතින් අප කරන පුංචි
උත්සාහයක් පමණි.
(උද්‍යාන විද්‍යා මූලධර්ම ගැන මීළඟ
ලිපියෙන් දැනුවත් වෙමු........!)
ආර්.එම්.ජේ.රාජපක්ෂ,
[B.Sc. Agriculture
(Sp) , M.Sc. in Floriculture & Landscape Architecture]

Comments
Post a Comment